දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට
දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා යොදා ගත් රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් දෙහිවල ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත.
තවද, පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙහිවල වනරතන ක්වාටස් ක්‍රීඩාංගණය අසලදී සිදුවූ පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසද මෙම සැකකරු කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම වෙඩි තැබීම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු අද (24) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය